හවස හෑලි
අබේ අද රෑ සී ආර් ගෙ ගෙදර නැවතුනේ තමාට ඉතා කිට්ටු සමවයසේ කෙනෙක් සමග රැයක් ගෙවීමේ ආශාව නිසා.
සී ආර්ගෙ ගමේ ගෙදර පරිසරය පිටිසරයි; වෙන ගෙදරක් පෙනෙනතෙක් මානේ නෑ. මේ ගෙදර සෙනගක් ඉන්නේ සති අන්තයේ විතරයි. අදත් උදේ පටන් හවස තුන හතර වෙනතුරු දෙන්නගෙම පවුල්වල දහ දෙනෙක් විතර හිටියා. නමුත් දවල් කෑමෙන් පස්සේ සේරම වගේ ආපහු ගෙවල්බලා නගරයට යන්න පිටත්වුනා. රෑට නවතින්නේ සී ආර් සහ අබේ ඇරුනහම ගෙදර බලාගන්න පොඩි බාස් විතරයි.
“පොඩිබාස්!”
සී ආර්ගෙ කටහඬ පොඩිබාස්ගෙ කුස්සියට අල්ලපු කාමරේට විතරක් නෙවෙයි වෙලෙන් එගොඩ ගෙදරටත් ඇහෙන තරම් සද්දයි.
“සර්?”
“මේ ගිනි ගොඩට තව පොල් ලෙලි කීපයක්? පොල් කට්ටක් දෙකක්?”
“හා සර්”
මිදුල මැද වීල් බැරැක්කේ දැල්වෙන ගින්න තවම හරියට පදම්වෙලා නෑ. අවට කරුවල වුනත් ගින්නෙන් නැගෙන් එලිය ඇති යාළුවන්ට. හාන්සි පුටු දෙකක වාඩිවී ගින්නේ උනුසුමෙන් සැනසෙන ඇඟට වැඩි කතාවක් අවශ්‍ය නෑ. කිට්ටුවෙන් තියෙන බීම වීදුරු වරින් වර උඩට ඉස්සුනේ නිහඬවයි. ගින්නෙන් නැගී එන සුළු පිපිරෙන සද්දත්, රැහැයි/පළගැටි සද්දත් අවට නිහඬතාවය උත්සන්න කරන්න සමත්වුනා.
“මෙහෙ මදුරුවෝ ඉන්නවද?”
අබේ මෙහෙම ඇහුවේ තම උරහිසට අතුල් පහරක් දෙමින්.
“නෑ!”
“කොහොමද දන්නේ නෑ කියලා”
“පොඩිබාස් කිව්වේ - මිනිහා දන්නවා!”
“එතකොට මම දැන් තැළුවේ මොකෙක්ද?”
“මදුරුවෙක් වෙන්න බෑ - පොඩිබාස් කිව්වේ”
අබේ ටිකක් කල්පනා කළා.
“එහෙනං මැස්සෙක් වෙන්න ඇති…”
“හ්ම්”
“සමහරවිට හාල් මැස්සෙක් ද දන්නෙ නෑ”
සී ආර් අබේ දිහා බැලුවා.
“පොඩිබාස්!”
“සර්?”
“හාල් මැස්සෝ තියෙනවද?”
“හාල් මැස්සෝ නෑ සර්… කරෝල නම් තියෙනවා”
“මොන කරෝලද?”
“කුම්බලා සර්”
සී ආර් අබේ දිහා බැලුවේ හිනා මුහුණෙන්.
“ඔන්න අබේ කාපු එකා - කුම්බලා!”
අබේ අත නහයට ලංකරා.
“හ්ම්… ගඳක් නම් නෑ… හැබැයි මේ කාලේ කුම්බලා එහෙමත් වැඩිය ගඳ නෑ ‘නේද?”
“ඔව්… දැන් හරියට බෙහෙත් ගහනවා නේ… ඉස්සර ගොම පොහොර විතරයි අප්පච්චිලා පාවිච්චි කරේ. දැන් ඒකට… පොලිඩෝල් කියයි, එච් හතර කියයි, බ්රොන්කයිටිස් කියයි…”
“ඔය සේරම කුම්බලා වලට ගහනවද?”
“ඔව්! පොඩි කාලේ ඉඳන්!”
“ඉස්කෝලේ යන්නත් ඉස්සර ඉඳන්?”
“ඒක මං හරියටම දන්නෙ නෑ… පොඩිබාස්!”
“සර්?”
“කුම්බලා මොන සුවඳද?”
“… සර්… අ… කුම්බලා සුවඳ…?”
“එහෙනං නරක් වෙන්න බෑ - පොලිඩෝල්… බ්රොන්කයිටිස් ගඳක් නෑ?”
“අපෝ නෑ සර්”
“එහෙනං කෑල්ලක් පුච්චලා, දෙහි ටිකක් දාලා ගේනවද?”
“හරි සර්”
ඒ සැරේ ප්‍රශ්නයක් ආවේ අබේගෙන්.
“පොඩිබාස්… මෙහෙ කුම්බලා වැවෙන්නේ කොහෙද?”
සී ආර් අබේට ඉන්ග්‍රීසියෙන් කතා කරා, පොඩිබාස්ට නොතේරෙන විදිහට.
“ඩෝන්ට් ආස්ක් හිම්… හී ඉස් නොට් ෆ්‍රොම් දිස් විලේජ්! පොඩිබාස් රතුළූනු ටිකකුත් කුම්බලා එක්ක”
“හා සර්”
අබේ සී ආර්ගෙන් සමාව ඉල්ලුවා.
“සොරි… අයි ඩිඩ්න්ට් නෝ… පව් නේද අපෙ ගමේ ඉපදුනෙ නැති එක?”
“එහෙම කියන්න එපා… මං දන්නවාඋ හුඟාක් අය මේ ගමේ ඉපදුනේ නැති!”
“ඒ කවුද?”
“…අ…මාත් එක්ක වැඩකරා මිනිහෙක්… මං හිතන්නේ දුප්පත් එක්කෙනෙක් වෙන්න ඇති; වැඩට ආවේ බස් එකේ… මිනිහා මෙහෙ නෙවෙයි ඉපදුනේ… ආයෙ එංගලන්තේ මහ රැජින එහෙම… පිටගං කාරයෝ!”
“බොරූ… එතකොට ලංකාවේ අගමැති?”
“කොයි එකාද?”
“ඕන එකෙක්?”
“මං හිතන්නේ උමුත් පිටගං කාරයෝ”
“හ්ම්…”
අබේගෙ නළල රැලි වැටිලා. මොකද්දෝ ගැන ගැඹුරට හිතනවා.
“අර… ඉස්සරවෙලා කියපු දෙයක්… මට හරියට තේරුනෙ නෑ… මිනිහෙක් බස් එකේ වැඩට ආවා කිව්වේ… ඒ අයි?”
“අබේ මේවා දැනගන්න ඕන දේ… අර අප්පච්චීලා පොහොසත් නිසා අපි මෙහෙම හිටියට, මිනිස්සු ඉන්නවා එහෙම නැති - දුප්පත් කියලා කට්ටියක්… ඔව්… මට විස්වාසයි ඒ කට්ටියට සමහරවිට ගෙදර වැඩට කවුරුවත්ම නෑ!”
“එතකොට කන්නෙ බොන්නෙ?”
“ඒ අයම කෑම ලෑස්ති කරගන්නවා!’
අබේ ආයෙත් නළල් රැලි කරා.
“එතකොට ඩ්‍රින්ක් එකක් ඕන වුනාම ඒ අයම බෝතලේ ලඟට ගන්න ඕනෑ ඇති… අපිත් එහෙම කරලා බලමුද?”
“පිස්සු! පොඩිබාස්!”
“සර්?”
“මහත්තයට බෝතලේ දීලා මට කමිසයක්! ඊට පස්සේ මේ ගින්දර ටිකක් ඈත් කරොත් හොඳයි - මගෙ කකුලට රස්නේ වැඩී”
“හොඳයි සර්”
අබේ පොඩිබාස් දීපු බෝතලෙන් බීම ටිකක් වීදුරුවට දාගත්තා.
“හැබෑට මේ බීම ඇඟට නරක නැද්ද?”
“ඇයි එහෙම ඇහුවේ?”
“නෑ… මං දැක්කා මිනිහෙක් පනුවෙක් අරගෙන බීම වීදුරුවකට දානවා… පනුවා එහාට මෙහාට ඇඹරිලා මැරිලා ගියා! ඒකයි බීම හොඳද නරකද කියලා හිතුවේ”
“අබේ! අබේ! අබේ!… ඔය වගේ එක්ස්පෙරිමන්ට් විද්‍යාඥයෙක් හැටියට තේරුම් ගන්න ඕනෑ… ඔය අබේ දැකපු ටෙස්ට් එකෙන් කියවෙන්නේ බීම පනු අමාරුවට හොඳයි කියලා විතරයි!”
[මේ වගේ ලියාගෙන ගියොත් මේක කතාවකට හැරෙයිද කියලා බයක් තියෙනවා]